භාවනාව හා රූප කලාප පිළිබද හැදින්වීමක්

භාවනා කියන එකේ තේරුම ඇත්තටම වැඩි දියුණු කිරීම. භූ ධාතුවෙන් නැගෙන ශබ්දයක් තමයි භාවනා කියන්නේ. එතකොට මෙහිදී බෞද්ධ භාවනා වශයෙන් හඳුන්වනු ලබන්නේ අර චිත්ත භාවනා හා ප්‍රඥා භාවනා කියන දෙක. චිත්ත භාවනාව නමින් හැඳින්වෙන්නේ සමථ භාවනාව.ඒ වගේම ප්‍රඥා භාවනාව නමින් හැඳින්වෙන්නේ විපස්සනා භාවනාව.

දැන් සමථ භාවනා වැඩීමේදී සන්තානයෙහි චිත්තසන්තානයට අවශ්‍ය වෙන ධ්‍යානාංග ශක්තිය වැඩි දියුණු වෙමින් චිත්ත ඒකාග්‍රතාව බලගතු වෙනවා.ශක්තිමත් වෙනවා.ඒ නිසා ඒකට කියනවා සමථ භාවනා නැත්තං චිත්ත භාවනා.

විපස්සනා භාවනාවේ දී ප්‍රඥාව ප්‍රධාන වෙනවා.ඒ නාම රූපාදී පරමාර්ථ ධර්මයන් හරියට තේරුම් අරගෙන ඒවායේ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුභ ලක්ෂණ මේවා දකිමින් විපස්සනා වැඩීම ප්‍රඥාවට අයිතියි.එයින් වැඩෙන්නෙ ප්‍රඥාව.එනිසාම විපස්සනා ඥනය කියලා වෙනම ඥාන කොට්ඨා⁣සයකුත් වඩන්න තියෙනවා.

ඉතින් ඒ විදිහට සමථ භාවනා විපස්සනා භාවනා මඟින් චිත්ත සන්තානයේ බෝධි පාක්ෂික ධර්ම තිස් හත දියුණු කිරීමයි භාවනා කියන එකේ සිංහල තේරුම.

ඊළඟට රූප කලාප.රූප කලාප කියන්නේ දැන් අපි මේ කලාප කියන වචනෙ සිංහලෙන් කළඹ කියනවා නේද?දැන් අපි මල් කලඹ කියලා කියනවානෙ මල් පෝච්චි⁣යෙ දාපුවහම නේද? මල් සමූහයක්.කළඹ කියන්නේ කලාපයක් සමූහයක් .දැන් සමහරවිට සමරු කළඹ කියනවනේ .සමරු කළඹ කියන්නේ ලිපි ගොනුවක්. ලිපි රාශියක්.ඒවාගේ මේ අපේ ශරීරයේ තියෙනවා රූප ජාති ඔක්කොම විසි අටක්. ඒ විසි අට බෙදෙනවා කලාප කලාප වශයෙන් කොටස් විසි තුනකට. අභිධම්මත්ථ සංග්‍රහ විසි එකක් පෙන්වනවා.නමුත් ආශ්වාස ප්‍රශ්වාස කොටසේ රූප කලාප තව දෙකක් එන නිසා එහිදී විසි තුනක් තියනවා.එතන තියෙනවා දහයේ මිටි,හතේ මිටි, නවයේ මිටි,එකොළහේ මිටි,දොළහෙ මිටි, දහතුනේ මිටි කියලා ඔය විදිහට රූප කලාප ගොඩක් තියෙනවා.

ඒ කියන්නෙ කර්මජ කලාප නවයක්,චිත්තජ කලාප අටක්,උත්තුජ කලාප හතරක් හා ආහර්ජ කලාප දෙකක්.මේවා තමයි රූප සමූහයක එකතු වීම කලාප නමින් හඳුන්වනවා.

සමූහයක් වෙන්නේ කර්මය නිසා හට ගන්න කර්මජ රූප කලාප,සිත නිසා හටගන්න චිත්තජ රූප කලාප,ඍතුව නිසා හටගන්න උත්තුජ රූප කලාප සහ ආහාර නිසා හටගන්න ආහාර්ජ රූප කලාප.මේවා තමයි රූප කලාප.

ඉතිං විපස්සනා කරනකොට මේක අමුතු දෙයක් නෙවේ ඉගෙන ගන්න තියෙනවා.ඒ නිසා ආරාධනා කරනවා මේ කියන රූප කලාප,නාම කලාප ඉගෙනගෙන පුළුවන් තරම් ධර්මයට ඇතුළු වෙන්න කියලා .

අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිම්පාණන්ගේ දේශනාවකි