ඉවසීම උතුම් ම තපසයි

ජීවිතයේ බොහෝ අවස්ථාවන් හි අපි ඉවසිය යුතුය .. ධර්ම මාර්ගය තුල පුහුණු වන ඉවසීම සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුල දීද ලබා දෙන්නේ අප්‍රමාණ සහනයකි .

මූලිකව උපේක්ශිත නොවීමෙන් ලැබෙන ආදීනව සම්මර්ශනය කිරීමම ඉවසීම උපේක්ෂාව පුහුණු ව උදෙසා මනස මෙහෙයවාලීම උදෙසා උපකාරි වේ..

බොහෝ විට අප බාහිර ලෝකය අපට උවමනා ආකාරයට සකස් කරගැනීමට උත්සාහ කරන මුලාව නිසාම සිතේ සහනය අහිමි කරගනී… කිසිවිට බාහිර සාධක බාහිර පුද්ගලයන් ගේ සිතුම් පැතුම් අපේ සිත සනසන පරිදි නොපවතී … බාහිර ලෝකය නිසා අප සිත් සන්තානය දුකට පත් නොවනා ආකාරයෙන් මනස හසුරවාලීමම පමණි අපට කල හැක්කේ…

සුලභ ලෙසම සැවොම අත්දකින දෙයක් ලෙස අනුන්ගේ රළු පරලු වදන් නිසා අපේ සිත තැවෙනවා දැවෙනවා යැයි සිතේ.. ඒත් සත්‍ය ලෙසම ඒ ශබ්දය අල්ලා හටගත් මනසිකාර තුලින් මිස දුක ඉපදවූ අන් හේතුවක් නැත .

ශබ්දය කනේ වැදුනු විගස මනසිකාරය සුභ අතට පෙරලා ශබ්ද පිටකිරීමේ අයිතිය අන් අයෙක් සතුය මේ ශබ්දය කෙරෙහි මා උපේක්ශිත වෙමි.. යි සිතුවිලි පවත්වා බලන්න පෙර මෙන් සිතේ ගැටීමක් හට නොගනී…. මේ උදෙසා බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති ආකාරයට අට්ඨාරස මනෝ සංචේතනා පිලිබද මනා අවබෝධයක් ලබා ඇති අයෙක් නම් ඉතා පහසුවෙන් ශබ්දය අලලා ඇතිවන මනසිකාරයන් එතැනින්ම නවතාලිය හැක…

ගැටෙන්න ට එන අයට ගැටෙන්නටම ඉඩදී දිනන්නට එන අයට දිනන්නම ඉඩදී ප්‍රන්‍යාගෝචරව නිහඩ වීම නිවටකමක් නොවේ… අතීතය ආවර්ජනයන් සම්බන්ධ යෙන්ද උපේක්ශිත විය යුතුම වේ….

අතීතයේ සිදුවූ දෙයක් නොසිදුවූ දෙයක් කිරීමේ නොහැකියාවත් වර්තමාන යේ ඒ සිදුවීම් අලලා මනසිකාර පැවැත්වීම වෙහෙසක් නිසාවෙනුත් අතීතය සහමුලින්ම සිතින් ඉවත් කොට උපේක්ශිත වීම වටී…. තමාට ලබා ගත නොහැකි වූ අධ්‍යාපන සුදුසුකමක් හෝ වෙනත් අවස්ථාවන් නොලැබුනා කියා දුක්වීමෙන් ඇති ඵලක් නැත..

කායික වේදනා සම්බන්ධ යෙන්ද අප උපේක්ශිත විය යුතුය .. කයේ වේදනා සිතින් අල්ලා දැගලීමෙන් කායික වේදනා උත්සන්න වීම හැර අන් යහපතක් සිදු නොවේ …

විදර්ශනා ග්‍යානයන් ප්‍රගුණ කල නොමැති අයෙකුට වුව මේ වේදනාව කෙරෙහි මා උපේක්ශිත වෙමි උපේක්ශිත වෙමි උපේක්ෂාව උපදවා යම් සහනයක් ලද හැක.. ධ්‍යාන මාර්ගඵල ආදිය ගැනත් උපේක්ශිත වීමම වටී……

මනස ඒ ඔස්සේම පුහුණු කර ප්‍රථිපලය ඒමට යම් කාලයක් ගත විය හැක උපේක්ශිත ව ඉවසීමම මේ ධර්මයෙන් උසස් ඵල නෙලාගත හැකි එක් සාධකයකි.

නිතර මෙනෙහි කල යුතු කරුණු 5ක්

“පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා කතමානි පඤ්ච?”

ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්-ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

ව්‍යාධිධම්මොම්හි ව්‍යාධිං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධූ කම්මපටිසරණො, යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

තේරුම:

මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය. කවර කරුණු පසෙක් ද යත්?

01. මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

02. මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය.

03. මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

04. ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

05. මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

බෞද්ධයාගේ අත්පොත

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ

සතර කමටහන් භාවනාව

සමථ විපස්සනා නමින් හැඳින්වෙන භාවනාවේ තේරුම සැපවත් ජීවිතයක් හදාගෙන එම නිරාමිස ධර්ම සැපය අන්‍යයන්ටත් බෙදාදීමේ ශාන්ත සේවයකි. සිත නන් අරමුණෙහි විසිරී යන හේතු සමනය කරමින් නීවරණාදී උපක්ලේශ යටපත් කරමින් එක් අරමුණක පිහිටා සිටීමේ සමත් බව නම් වූ ධ්‍යාන පහළ කරගැනීම සමථ භාවනාවය.

සම්මුතිය බිඳ පරමාර්ථ අරමුණෙහි පිහිටා නාමරූප ස්කන්ධ ආයතනාදීන් කෙරෙහි වූ අනිත්‍යාදී ස්වභාව ලක්ෂණ පොදු ලක්ෂණ තත් වූ පරිදි අවබෝධ කරමින් නිවන් මඟට පිළිපැදීම විපස්සනා භාවනාවය. සමථ විපස්සනා භාවනාවන් නිරාකූලව හා නිරවශේෂ ව ඉදිරිපත් කරනු ලබන්නේ විසුද්ධි මාර්ගය නම් ග්‍රන්ථයෙහිය.

බුදුගුණ, මෛත්‍රීය, අසුභ හා මරණ සති නම් වූ මේ සතර කමටහන් අතුරෙන් බුදුගුණ වැඩීමේදී බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට ජීවමානව වැඩ හිඳින ආකාරය සිතින් අරමුණු කොට බුදු ගුණ භාවනාව වැඩිය යුතු වේ. මෛත්‍රිය වැඩීමේ දී වනාහි තමාය, හිතවතාය, මැදවතාය හා අහිතවතාය යන සතර දෙනා අතුරෙන් අරමුණු කරනු ලබන්නා තමා ඉදිරිපිට සිටින ආකාරය සිතින් බලමින් ම මෛත්‍රිය වැඩිය යුතුය.

අසුභ භාවනාව හෙවත් කායගතාසතිය වැඩීමේදී කේශාදී එක එක කොටසෙහි පාට, සටහන, දිශාව, පිහිටි තැන හා පරිච්ඡේදය හෙවත් ඉම ගැන දැන දැන කායගතාසතිය වැඩිය යුතුය. මරණසතිය වැඩීමේදී සති, සංවේග ඥාන පිහි‍ටුවාගෙන අනිත්‍යතාව සිතට නගා මරණසතිය වැඩිය යුතුය. ආනාපාන සතිය වැඩීමේදී වනාහි සතිය මනාසේ පිහි‍ටුවා ගත යුතු වේ. භාවනා පූර්වකෘත්‍යය වනාහි වේලාවේ පමණින් කෙටියෙන් හෝ සවිස්තරව හෝ සම්පූර්ණ කොට ම භාවනා පටන්ගත යුතුය. මේ සෑම භාවනාවක දී ම සති සම්පජඤ්ඤය පැවැත්වීම භාවනාව සාර්ථක වීමට අතිශයින් උපකාරි වේ.

සර්වඥයන් වහන්සේ ගැන ගෞරවය සහිත විශ්වාසය අධික වීම, ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියයන් බලවත් බවට පැමිණීම, නුවණ අවදිවීම, ප්‍රීති සොම්නස් බහුල වීම, බිය තැති ගැනීම් නැතිවීම, ඉතා සතුටින් සියලු දුක් ඉවසීමේ ශක්තිය, සර්වඥයන් වහන්සේ සමඟ එකතැන වෙසෙන සිත ඇතිවීම, එනිසාම වරදකට නොනැමීම, හිරි ඔතප් අධිකව වඩාත් සිල්වත් වීම, ධාතු ගර්භයක් සේ පූජනීයත්වයට පත්වීම, බුදුබව සඳහා සිත නැමීමාදී අනන්ත ආනිසංස බුදුගුණ භාවනා වඩන්නාට අත් වේ.

මෛත්‍රිය භාවනාවෙන් වනාහි සුවසේ නින්ද යාම, සුවසේ අවදිවීම, නපුරු සිහින නොපෙනීම, දෙවියන්ට ප්‍රියවීම, මනුෂ්‍යයන්ට ප්‍රියවීම, දෙවියන්ගේ ආරක්ෂාව සැලසීම, ගිනි අවි වලින් හානියක් නොවීම හා වස විස ශරීරගත නොවීම, වහා සිත සමාධිගත වීම, මුහුණ පැහැපත් වීම, මරණාසන්නයේදී සිහි නුවණ එළඹ සිටීම, මතු සුගතිපරායනවීමාදි අනන්ත අපරිමාණ අනුසස් ලැබෙන්නේ අසිරිමත් ලෙසිනි.

කායගතාසති – අසුභ භාවනාවෙන් වනාහි පාපයෙන් වැළකීම, පිනෙහි නොපමාවීම, පස්කම් සැපට ගිජු නොවීම, බිය තැති ගැනීම් නැතිවීම, සියලු දුක් ඉවසීමේ සමත් බව, දිව්‍ය සමාන කාම වස්තුවකවත් නො ඇලීම, ලද පමණින් සතු‍ටු වීම, රහතන් වහන්සේ නමක් සේ සංවර බව, භවයෙහි පමා වීමට නොකැමැත්ත හා සසර ගමනේදී සුගතිගාමී වීම ආදී අප්‍රමාණ ආනිසංස ලැබෙනුයේ නික්ලේශී ජීවිත වාසනාව උදා කරමිනි.

මරණසති භාවනාවෙන් වනාහි කුශල් පිලිවෙත් පිරීමේ නොපමාව, භවයෙහි නො ඇලීම, පාපයට ගැරහීම, අනිත්‍ය ලක්ෂණය නිතර වැටහීම, ජීවිත ආශාව තුනී වීම, බිය තැතිගැනීම් නැතිවීම, අද කළයුතු දේ හෙටට කල්නොදැමීම, දැහැමින් ජීවත් වීම, මරණාසන්නයේදී එළඹසිටි සිහිනුවණින් යුක්ත වීම, සුගති පරායන වීම, විදර්ශනාවට පහසුවෙන්ම පාදකවීම ආදී අනේක අනුසස් ගෙනදෙනුයේ සීලාදි උතුම් ගුණ අඛණ්ඩව පිරීමේ ශක්තිය ද ලබා දෙමිනි.

ආනාපානසතියෙන් වනාහි ස්මෘති සමාධි ප්‍රඥාවන් විසාරද බවට තියුණු බවට පැමිණේ. කය සිත සැහැල්ලු බවට පැමිණේ. නිරෝගී බවත්, සන්සිඳුණු තැන්පත් බවත් පිහිටයි. ප්‍රීතිය සෝමනස්සය නිතරම එළඹ සිටී. ධාරණ ශක්තිය ඇති වේ. ප්‍රතිභාන කෞශල්‍යය හෙවත් වහා වැටහීමේ නුවණ පහළ වේ. ධීර වීර උදාර අධ්‍යාශය ඇති වේ. බුද්ධත්වයට ද පාදක වන්නා වූ ආනාපාන සතිය අතිශයින් ශාන්ත භාවනාවකි. අනේක අපරිමාණ අනුසස් ද ඇති වේ.

නිදුක් නීරෝගී සුවපත්, ජීවිත වාසනාව උදා කොට තමන් ලැබූ ධර්ම සැපයෙන් අන් අයද සුවපත් බවට පමුණුවනු පිණිස වැඩි වැඩියෙන් භාවනා වඩත්වා! නිවැරදි ගුරූපදේශ මත පිහිටා භාවනා අනුසස් ලබත්වා! මේ භාවනාවන් භාවිතා කරන සැමට බුදුගුණ බල මහිමයෙන් භාවනා පිළිවෙත සාර්ථක වේවා! සත්ප්‍රාය වේවා! ගෝචර වේවා! අසම්මෝහ වේවා! සුවසේ අමා මහ නිවන් සුව අත් වේවා!

“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

උපුටා ගත්තේ;

නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ – භාවනා කෘතිය ඇසුරිනි

පොත බැලීමට මෙතැනින් –

භාවනාව හා රූප කලාප පිළිබද හැදින්වීමක්

භාවනා කියන එකේ තේරුම ඇත්තටම වැඩි දියුණු කිරීම. භූ ධාතුවෙන් නැගෙන ශබ්දයක් තමයි භාවනා කියන්නේ. එතකොට මෙහිදී බෞද්ධ භාවනා වශයෙන් හඳුන්වනු ලබන්නේ අර චිත්ත භාවනා හා ප්‍රඥා භාවනා කියන දෙක. චිත්ත භාවනාව නමින් හැඳින්වෙන්නේ සමථ භාවනාව.ඒ වගේම ප්‍රඥා භාවනාව නමින් හැඳින්වෙන්නේ විපස්සනා භාවනාව.

දැන් සමථ භාවනා වැඩීමේදී සන්තානයෙහි චිත්තසන්තානයට අවශ්‍ය වෙන ධ්‍යානාංග ශක්තිය වැඩි දියුණු වෙමින් චිත්ත ඒකාග්‍රතාව බලගතු වෙනවා.ශක්තිමත් වෙනවා.ඒ නිසා ඒකට කියනවා සමථ භාවනා නැත්තං චිත්ත භාවනා.

විපස්සනා භාවනාවේ දී ප්‍රඥාව ප්‍රධාන වෙනවා.ඒ නාම රූපාදී පරමාර්ථ ධර්මයන් හරියට තේරුම් අරගෙන ඒවායේ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුභ ලක්ෂණ මේවා දකිමින් විපස්සනා වැඩීම ප්‍රඥාවට අයිතියි.එයින් වැඩෙන්නෙ ප්‍රඥාව.එනිසාම විපස්සනා ඥනය කියලා වෙනම ඥාන කොට්ඨා⁣සයකුත් වඩන්න තියෙනවා.

ඉතින් ඒ විදිහට සමථ භාවනා විපස්සනා භාවනා මඟින් චිත්ත සන්තානයේ බෝධි පාක්ෂික ධර්ම තිස් හත දියුණු කිරීමයි භාවනා කියන එකේ සිංහල තේරුම.

ඊළඟට රූප කලාප.රූප කලාප කියන්නේ දැන් අපි මේ කලාප කියන වචනෙ සිංහලෙන් කළඹ කියනවා නේද?දැන් අපි මල් කලඹ කියලා කියනවානෙ මල් පෝච්චි⁣යෙ දාපුවහම නේද? මල් සමූහයක්.කළඹ කියන්නේ කලාපයක් සමූහයක් .දැන් සමහරවිට සමරු කළඹ කියනවනේ .සමරු කළඹ කියන්නේ ලිපි ගොනුවක්. ලිපි රාශියක්.ඒවාගේ මේ අපේ ශරීරයේ තියෙනවා රූප ජාති ඔක්කොම විසි අටක්. ඒ විසි අට බෙදෙනවා කලාප කලාප වශයෙන් කොටස් විසි තුනකට. අභිධම්මත්ථ සංග්‍රහ විසි එකක් පෙන්වනවා.නමුත් ආශ්වාස ප්‍රශ්වාස කොටසේ රූප කලාප තව දෙකක් එන නිසා එහිදී විසි තුනක් තියනවා.එතන තියෙනවා දහයේ මිටි,හතේ මිටි, නවයේ මිටි,එකොළහේ මිටි,දොළහෙ මිටි, දහතුනේ මිටි කියලා ඔය විදිහට රූප කලාප ගොඩක් තියෙනවා.

ඒ කියන්නෙ කර්මජ කලාප නවයක්,චිත්තජ කලාප අටක්,උත්තුජ කලාප හතරක් හා ආහර්ජ කලාප දෙකක්.මේවා තමයි රූප සමූහයක එකතු වීම කලාප නමින් හඳුන්වනවා.

සමූහයක් වෙන්නේ කර්මය නිසා හට ගන්න කර්මජ රූප කලාප,සිත නිසා හටගන්න චිත්තජ රූප කලාප,ඍතුව නිසා හටගන්න උත්තුජ රූප කලාප සහ ආහාර නිසා හටගන්න ආහාර්ජ රූප කලාප.මේවා තමයි රූප කලාප.

ඉතිං විපස්සනා කරනකොට මේක අමුතු දෙයක් නෙවේ ඉගෙන ගන්න තියෙනවා.ඒ නිසා ආරාධනා කරනවා මේ කියන රූප කලාප,නාම කලාප ඉගෙනගෙන පුළුවන් තරම් ධර්මයට ඇතුළු වෙන්න කියලා .

අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිම්පාණන්ගේ දේශනාවකි

පිරිතේ බල මහිමය නිවැරදිව

“මහා තේජවන්තයා සමන්තො සත්තානං භයං උපද්දවං උපසග්ගං ච තායති රක්ඛතිති පරිත්තං” යනු මහා සද්දනීති විවරණ පාඨ හෙයින් මහා තේජස් ඇති බැවින් සත්ත්වයන් හට පැමිණෙන භය උපද්‍රවාදිය හාත්පසින් ම හැම ලෙසින් ම වළකා ආරක්‍ෂා කෙරෙනුයි පරිත්ත – පිරිත් නම් වේ.

“විපත්ති පටිබාහාය – සබ්බසම්පත්ති සිද්ධියා

සබ්බදුක්ඛ විනාසාය – පරිත්තං බ්‍රෑථ මංගලං”

විපත්ති වැළැකීම පිණිසත්, සියලු සම්පත් සිද්ධ කරදීම පිණිසත්, සියලු දුක් වැනැසීම පිණිසත් හේතුවන්නා වූ මංගල සම්මත පිරිත දේශනා කරන්නේ මැනැවි. දෙවැනි තුන්වැනි වාරයන්හි “සබ්බ දුක්ඛ විනාසාය” වෙනුවට පිළිවෙළින්, “සබ්බ භය විනාසාය” සියලු භය වැනසීම පිණිසත් “සබ්බ රෝග විනාසාය” සියලු රෝග වැනැසීම පිණිසත් කියා යොදන්නේ නම් මැනැවි.

මෙය පිරිත් දේශනාවට වැඩමකර සිටින මහා සංඝයා වහන්සේට දායක පින්වතුන් විසින් චාරිත්‍රානුකූල ව ආරාධනා කරනු ලබන පිළිවෙළයි. මෙහි පිරිතකින් බලාපොරොත්තු වන ගුණය ද ඇතුළත් වී තිබේ.

සියලු විපත්ති වළක්වා සියලු දුක් – භය – රෝගයන් විනාශ කොට, දීඝායු සම්පත් නීරෝග සම්පත් ආදිය ලබා ගැනීම පිරිත් දේශනා කරවා ගැනීමෙහි පරමාර්ථය හෙවත් ඉහළ ම බලාපොරොත්තුව වේ. පිරිතකින් යට කී බලාපොරොත්තුව සම්පූර්ණ කර ගැනීමට පිටතින් ලැබෙන උපකාරක ධර්ම සහ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්ම වශයෙන් උපකාරක ධර්ම සමූහයකගේ එක්වීමේ බලය ආධාර වේ.

▬▬▬▬

බාහිර උපකාරක ධර්ම

මෙකල සම්මත කරගෙන තිබෙන පරිදි පිරිත් යැයි වෙනම සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ නැත. උන් වහන්සේ දෙසූ සුවාසුදහසක් ධර්මස්කන්ධයන් අතුරෙන් යම් යම් ලෙඩ දුක් ආදී විපත් පැමිණි අවස්ථාවන්හි දී ඒවා දුරුකරනු සඳහා මහා කරුණාවෙන් ප්‍රකාශ කළ සූත්‍රයන් එක් කොට පිරිත් යැයි සම්මත කර තැබීම පූර්වාචාර්යවරුන්ගේ ක්‍රියාවෙකි.

මහා කරුණා සමාපත්තියෙන් නැඟිට ලොව බලා වදාරා සත්ත්වයනට පැමිණි දුක් නැති කරනු සඳහා වදාළ සූත්‍ර ධර්මයන් නිසා මෙහි වචනයක් පාසා උන් වහන්සේගේ මහා කරුණාව කා වැදී තිබේ. ඒ මහා කරුණාවෙහි එදා මෙන් ම අද ද සත්ත්වයන්ගේ දුක් දුරුකොට සම්පත් ළඟාකර දීමේ බලය රඳා පවත්නේ ය.

මේ පිරිත් සූත්‍රයන්හි ඇතුළත් වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයයි. මනුෂ්‍යයන්ගේ දෙලෝ යහපතට හේතුවන ධර්මයන්ගෙන් මෙන් ම කිසි කලෙක වෙනස් නොවන සත්‍යයන් වන චතුරාර්්‍යය සත්‍යය ආදී උසස් ධර්මයන්ගෙන් ද යුක්ත වේ. බුදු රජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් ම දේශනා කළ රත්නත්‍රයේ ගුණ ද ඇතුළත් ය.

අවුරුදු දෙදහස් පන්සීයකටත් වැඩි කාලයක් මුළුල්ලෙහි මේ නිර්මල ධර්මය නිසා ලොවට සැලැසුණු ශාන්තිය අතිවිශාල ය. සියලු දුක් නැති කොට පරම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව නොකිය හැකි තරම් ය. මේ නිර්මල ධර්මයෙහි ඒ බලය අද ද නොඅඩුව පවතී. සියලු දුක් නැවැත නූපදනා ලෙසට ම නැසිය හැකි ය. එසේ නම් සාමාන්‍ය දුක් කරදර විපත් නැසීම ගැන කවර කතා ද? එහෙයින් මේ පිරිතෙහි සත්‍ය වූ ධර්ම බලය ද රඳා පවත්නේ ය.

“අප්පමාණෝ බුද්ධෝ අප්පමාණෝ ධම්මෝ අප්පමාණෝ සංඝෝ” යි වදාළ පරිදි බුද්ධ – ධම්ම – සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්ත ය. අප්‍රමාණ ය. මේ බුදුගුණ ඇසීම් මාත්‍රයෙන් පවා සසර දුක් නැති කළවුන් ගේ සංඛ්‍යාව ද විශාලය. ඇතැම්හු ඍද්ධි විශේෂයක් නැති ව ද මේ බුදුගුණ බලයෙන් අහසින් පවා ගියහ. ඒ බුදුගුණ බලය අද ද නොඅඩු ව පවතී. දහම් ගුණ සහ සඟ ගුණ ද එසේ ම ය. මේ පිරිතෙහි ඒ අති පරිශුද්ධ රත්නත්‍රයෙහි ගුණ බලය ද රඳා පවත්නේ ය.

▬▬▬▬

කරුණා මෛත්‍රී සහගත සිත

භික්ෂූන් වහන්සේලාට පිරිත් දේශනා කරන්නට නියම කර ඇත්තේ ද කරුණා මෛත්‍රී සහගත සිතිනි. පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ-රෝග – අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකිවූයේ බුදුරජාණන් වහන්සේ වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මාහිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇද්දැයි වැටැහෙන්නේ එදා එහි පැවති තත්ත්වය මෙනෙහි කරන විට ය.

කවර කලෙක වුව ද පිරිත් දේශනා කරන භික්ෂුන් වහන්සේලාට නියම කර තිබෙන්නේ “වේසාලියා තිසු පාකාරන්තරේසු තියාමරත්තිං පරිත්තං කරොන්තෝ ආයස්මා ආනන්ද ථේරෝ විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා” භ කියූ පරිදි එදා විසාලා මහ නුවර පිරිත් දේශනා කළ අනඳ මාහිමියන් වහන්සේ මෙන් කරුණා මෛත්‍රී සිත් උපදවාගෙන පිරිත් දේශනා කළ යුතු බවයි.

කරුණු මෙසේ හෙයින් මේ පිරිතෙහි සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාගේ කාරණා මෛත්‍රී බලය ද රඳා පවත්නේ ය. කරුණාවෙන් හා මෛත්‍රියෙන් පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලා හැම සූත්‍රයක් පාසා ම “ඒතේන සච්ච චජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා” මේ සත්‍ය වචනයෙන් ඔබට සැමදා ම සෙතක් වේවා” යි සත්‍ය ක්‍රියා කෙරෙති. සත්‍ය ක්‍රියාවෙහි බුදුම බලයක් පවත්නේ ය.

සච්චේන චාචේනුදකං හි ගාධති

විසම්පි සච්චේන භායන්ති පණ්ඩිතා

සච්චේන දෙවෝ ථනයං පවස්සති

සච්චේ ඨීතා නිබ්බුතිං පත්‍ථයන්ති

සත්‍ය ක්‍රියා බලයෙන් ගැඹුරු දියෙහි ද බැසගනී. මහා කප්පින රජතුමා පැවිදිවන්නට එනවිට හමු වූ මහා ගංගාවන්හි බැස පොළොවෙහි මෙන් ගමන් කොට පැමිණියේ සත්‍ය ක්‍රියා බලයෙනි.

සත්‍ය වචනයෙන් ඝෝර විෂ ද නැසිය හැකි ය. රජු විසින් විෂ පෙවූ ඊයෙන් විදිනු ලැබූ සාම කුමාරයා සිහිසන් නැති ව ඇද වැටුණේ ය. මරණාසන්න ව සිටි කුමරු වෙතට පැමිණි ගුණවත් අඳ මවුපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් විෂ මුළුමනින් ම බැස ගොස් කුමරු ප්‍රකෘති සිහිය ලැබුවේ ය.

සත්‍ය වචනයෙන් වැසි වැස්සවිය හැකි ද වේ. සිරිසඟබෝ ආදී ගුණවත් රජවරු සත්‍ය ක්‍රියා බලයෙන් වැසි වැස්සූ සැටි ඉතිහාසය දන්නවුනට මතක ඇත.

සත්‍යයෙහි පිහිටියානු නිර්වාණය ප්‍රාර්ථනා කෙරෙති. පුහුදුන් කම නිසා යම් යම් සුළු දෝෂ ඇතත් දැන දැන බොරු නොකීම නියත විවරණ ලැබූ බෝධිසත්ත්වවරුන්ගේ ධර්මතාවෙකි. සත්‍යයෙහි පිහිටා කරන ප්‍රාර්ථනාවෙන් සියලු සසර දුක් ගෙවා පරම සුවය වන නිවන පවා ලැබිය හැකි නම් සාමාන්‍ය ලෙඩ දුක් නැතිකොට සුවපත් වීම එතරම් අසීරු දෙයක් ද?

සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා ද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත ව මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය ප්‍රකාශ කොට මේ සත්‍යයේ බලයෙන් සෙතක් ශාන්තියක් සැලසේවා! ලෙඩදුක් දුරුවේවා! දිගාසිරි නීරෝග සම්පත් ලැබේවා! කියා සත්‍ය ක්‍රියා කරන විට නොසැලැසෙන යහපතක් නැතැයි කිව යුතු ය. මෙසේ පිරිතෙහි සත්‍ය ක්‍රියා බලය ද නොඅඩු ව ම රඳා පවත්නේ ය.

▬▬▬▬

දෙවිවරු

ගෙවල් හා මහා වෘක්ෂ ආශ්‍රය කරගෙන සාමාන්‍ය දෙවිවරුන් වාසය කරන බව බුද්ධ ධර්මයෙහි සඳහන් වේ.

පිරිත් දේශනාව පටන්ගන්නට පෙර දෙවියන්ට ද පිරිත් අසන්නට පැමිණෙන්නට යයි ආරාධනා කිරීම සිරිත ය.

සම්‍යග්දෘෂ්ටික දෙවිවරු පිරිත් අසන්නට ඉතා කැමති ය. එහෙයින් තමන්ගේ හිත මිත්‍ර මහේශාක්‍ය දෙවියනට ද දන්වා ඔවුනුදු කැඳවාගෙන පිරිත් අසන්නට පැමිණීම බූමාටු දෙවියන්ගේ සිරිතෙකි. ඔවුන්ගේ පැමිණීම නිසා අල්පේශාක්‍ය ප්‍රේතාදීහු වෙතොත් එතැනින් බැහැර වී යති. එහෙයින් ප්‍රේතාදී අමනුෂ්‍යයන් නිසා ඇතිවිය හැකි කරදර තිබුණා නම් එය නැති වී යයි. එසේ ම පිරිත් ඇසීමෙන් සතුටට පැමිණෙන දෙවියෝ ද තමහට පිරිත් ඇසීමට උපකාර වූ පින්වතුනට විපත් දුරු කිරීම් සම්පත් ළඟාකර දීම් ආදී සුළු සුළු උපකාර නොකරන්නාහු නො වෙති.

මෙසේ පිරිතෙන් ගුණ ලබාදීමට පිටතින් ලැබෙන උපකාරක ධර්ම සමූහයක් එක්වෙයි. මෙකී කරුණු ටිකෙන් වුව ද විපත් දුරුකොට සම්පත් ළඟාකර දීම කළ හැකි බව නුවණින් කල්පනා කරන කාහට වුව ද වැටැහේ ම ය.

පිරිතේ හාස්කම් හා කර්ම වේගය

▬▬▬▬

සද්ධාව හා ප්‍රඥාවද යෝනිසෝමනසිකාරය හා උපට්ඨීත සතිය ද යන මේ ධර්මයන් නිසා තමන්ගේ සන්තානයෙහි පහළ වන කුශල චිත්තයෝ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්මයෝ නම් වෙති.

චිත්ත වේගය අතිශීඝ්‍ර ය. ප්‍රමාණය දැක්වීමට උපමාවක් ද නැත්තේ ය. සාමාන්‍ය ඇසට පෙනෙන දෙයින් ඉතා වේගයෙන් ක්‍රියා කැරෙන්නේ විදුලි කෙටීම ය. චිත්ත වේගය ඊට වඩා කොතරම් බලවත් දැයි කිවහොත් විදුලියක් කෙටෙන ක්‍ෂණයෙක දී සිත් සිය ගණනක් ඇතිවිය හැකි ය. ඒ සිත් නිකම් උපදිනවා නො ව ලැබුණු අරමුණු අනුව වීථී ප්‍රතිපන්න ව වේගයෙන් දුවත්. එය එසේ නම් පැයක දී දවසක දී ජීවිත කාලයක දී කොපමණ සිත් පහළ විය හැකි ද?

මෙසේ පහළ වන්නා වූ හැම චිත්ත වීථියක ම කුසල් හෝ අකුසල් හෝ ජවන් නමින් සිත් සතක් උපදී. කුශලාකුශල කර්ම යයි කියන්නේ මේ සිත් හතට ය. මේ ජවන් සිත්වලට පෙර උපදින්නේ වොත්ථපන හෙවත් මනොද්වාරාවජ්ජන නමින් ක්‍රියා සිතෙකි. ඒ අවස්ථාවෙහි යෝනිසෝමනසිකාරයත් එළඹ සිටි සිහියත් තිබුණා නම් නිසි මඟට හැරවීම නිසා කුසල් ජවන් පහළ වෙයි. අයෝනිසෝමනසිකාරයත් මුට්ඨස්සතියත් තිබුණා නම් අකුසල් ජවන් සිත් පහළ වෙයි. මේ හත අතුරෙන් පළමු ජවන සිත ආසේවන ප්‍රත්‍යයක් නැති හෙයින් ඉතා දුර්වල ය. විපාක දෙතොත් දිට්ඨධම්මවේදනීය විපාක වශයෙන් මේ ජාතියෙහි ම පමණක් විපාක දෙයි. හත්වැනි ජවන් සිත මුල් හයෙන් ලැබුණු ආසේවන ප්‍රත්‍යය නිසා ඉතා ප්‍රබල ය. උප පජ්ජවේදනීය විපාක වශයෙන් ලබන ජාතියෙහි ම විපාක දීමට ශක්තිය ඇත්තේ ය. මේ ජවන් සිත් දෙකේ විපාක මේ ජාතියෙහි හා මීළඟ ජාතියෙහි විපාක දිය නොහැකි වූවොත් අහෝසි වෙයි. ඉදිරියෙහි විපාක දිය නොහැකි වෙයි.

මෙකී දෙ සිත හැරුණු විට ඉතිරි ජවන් සිත් පහේ ම අපරාපරිය වේදනීය විපාක වශයෙන් නිවන් අවබෝධ කොට පිරිනිවන් පානා තුරු විපාක දීමට ශක්තිය ඇත්තේ ය. එක ජීවිතයක දී රැස් කරන මෙබඳු කර්මයන්ගේ සංඛ්‍යාව නොකිය හැකි තරම් වේ. එය එසේ නම් මේ සංසාරයෙහි අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සැරි සරනා අය කොපමණ කර්ම රැස්කර ඇද්ද? එහෙයින් සෑම රජකු තුළ ම මහ සිඟන්නකු වීමේ කර්ම ශක්තිය මෙන් ම, සෑම හිඟන්නෙකු තුළ මහරජකු වීමේ කර්ම ශක්තියක් ද ඇත්තේ ය. එසේ ම මන්දායුෂ්ක වීමේ හා රෝග බහුල වීමේ ද කර්ම මෙන් ම දීර්ඝායුෂ්ක වීමේ හා සුවපත් වීමේ කර්ම ද නො කිය හැකි තරම් රැසක් ඇත.

නිල මැස්සා අසූචියට හා මී මැස්සා සුවඳට ඇදී යන්නාක් මෙන් මේ ජාතියෙහි අකුශල කර්ම කරන්නා වෙතට පෙර ජාතිවල කරන ලද අපරාපරිය වේදනීය අකුසල කර්ම හා කුශල කර්ම කරන්නා වෙතට අපරාපරිය වේදනීය කුසල කර්ම ද විපාක දීමට ඇදී එයි.

ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත සිත් ය. ඒ සමඟ ඒ තැනැත්තා තුළ බලපවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්ඝායු සම්පත් හා නිරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරොත්තුවයි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළ වෙනවා ඇද්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් නොකිය හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථී දසදහසක් යැයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නොහැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නොරහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ.

සසර සැරිසරන කාලවල දී රැස්කරන ලද විපත්ති දුරුකොට සම්පත් ලබාදීමට ශක්තිය ඇති කුසල කර්මයන්ගේ ප්‍රමාණය සීමාතික්‍රාන්ත ය. එහෙයින් මේ අවස්ථාවේ තමන්ගේ සිතෙහි බල පවත්වන ලෙඩදුක් ආදිය දුරුකොට ආයුරාරෝග්‍යාදී සම්පත් ලබාගැනීමේ බලාපොරොත්තුව අනුව සසර දී කරන ලද එබඳු විපාක ශක්තියක් ඇති කර්ම ඉදිරියට පැමිණීමෙන් දුක් දුරු වී සම්පත් සැලැසෙයි.

පිරිතෙහි කොතරම් බලයක් ඇතත් අසන්නා තුළ කිසි විශ්වාසයක් නැත්නම් නියම ගුණය නො ලැබෙයි. එසේ ම විශ්වාසය ඇතත් පිරිත් දේශනා කරන විට කෙලෙස් වසඟ ව හෝ නොසැලැකිල්ලේ හෝ අසා සිටීමෙන් ද නියම ගුණය නො ලැබෙයි. විශ්වාසය ඇතත් ශ්‍රද්ධාවෙන් අසා සිටියත් විපාක දීමට බලවත් අකුශල කර්මයක් ඉදිරිපත් වූවොත් පිරිතෙහි නියම ගුණය නො ලැබිය හැකි වෙයි.

▬▬▬▬

පිරිත ඇසීමට කැමති තිබෙන්නේ කුමක් නිසා ද?

මේ ලෝකවාසීන් අතර කැමති යැයි මිහිරි යැයි සම්මත වූ ශබ්දයෝ බොහෝ වෙති. කෙනෙකුට කැමති වූ ශබ්දය කෙනෙකුට කැමති නො වේ. තවත් කෙනෙකුට කැමති වේ. අන් කෙනෙකුට අකැමති. එහෙත් පිරිත් ශබ්දය හැම දෙනාට ම එක හා සමාන ව ම කැමති යැයි කිව හැකි ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක සූත්‍රයක් මාතෘකා කොට සත් දවසක් ධර්ම දේශනා කරනුවා යැයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනයෙහි අතිවිශාල ජනකායක් පැමිණෙනවා ඇත. දෙවන දිනයෙහි පිරිස අඩුවෙයි. තෙවැනි දිනයෙහි ඊටත් අඩුවෙයි. හත්වැනි දිනය වන විට දායක මහතාත් දේශකයන් වහන්සේත් පමණක් විය හැකි ය. දේශකයන් වහන්සේ ඉතා විචිත්‍ර ලෙස දේශනාව කරති. ඉතා මැනැවින් කරුණු පැහැදිලි කර දෙති. එහෙත් දින හතේම එක ම ධර්මය නම් මහජනයාගේ කැමති භාවය දිනෙන් දින ම අඩුවීම නොවැළැක්විය හැක්කකි.

හත් දවසක පිරිත් දේශනාවක් යයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනයෙහි ද විශාල පිරිසක් පැමිණෙනුවා ඇත. දෙවැනි දිනයෙහි පිරිස වැඩිවෙයි. හත්වැනි දිනය වන විට පසු වී ආ කෙනෙකුට සමීප විය නොහැකි තරම් අතිවිශාල ජනකායක් පැමිණෙනුවා ම ය. දේශකයන් වහන්සේලා එක පදයක්වත් තෝරා දුන්නේ නැත. අසා සිටියවුන් හට තේරෙන්නේවත් නැත. එහෙත් අසා සිටිනවුන්ගේ සතුට නම් නො කිය හැකි තරම් වේ.

පිරිත මනුෂ්‍යයන්ට පමණක් නො ව තිරිසනුන්හට ද ඉතා සතුටු බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. මෙතරම් සතුටුවීමට ප්‍රධාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි. ධර්ම දේශනා කරන විට ද ප්‍රකාශ කරන්නේ බුද්ධ භාෂිතයන් වුව ද එය දේශකයන්ගේ වචන වලිනි. පිරිත් දේශනා කරන විට එය දේශනා කරන්නෝ ඉස්පිල්ලක් පාපිල්ලක් වත් නොවෙනස් ව බුද්ධ වචනය ම කියති.

අකුරු නිසි ලෙස යෙදීමෙන් ඇතිවන වචන ශක්තිය ද ඉතා බලවත් ය. හෝඩියේ අකුරු එක් ආකාරයකින් යොදා කී විට අසන්නවුන්ගේ ඇස් රතුවන තරම් දරුණු විය හැකි ය. අකමැති විය හැකි ය. තවත් ආකාරයකින් කී විට අසන්නවුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු වගුරුවන්නට පිළිවන. මෙකල අතැමුන් විශ්වාස නොකරතත් සෙත්කවි, වස්කවි ආදියෙහි තිබෙන්නේ ද අකුරු පිහිටුවීමේ බලය හා ගණ පිහිටුවීමේ බලයයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේ හිත සතුටු කිරීමට දෙවියන් ඉදිරියෙහි ඒවා කීම සිරිතක් වුවත් නියම ලෙස තැනූ සෙත් කවියෙහි වස්කවියෙහි බලය එය තනනුවාත් සමඟ ම ප්‍රකට වෙයි.

— මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි

යෝනිසෝමනසිකාරය

කෙනෙක් අපිට බනිනවා දොඩනවා. ඉතින් බොහෝ සෙයින් අයෝනිසෝමනසිකාරයෙන් නම් ඉන්නේ කෙලින්ම හිතේ අමනාපයක් ද්වේශයක් පටිඝයක් ඇතිවෙනවා ව්‍යාපාදයක් ඇති වෙනවා නමුත් ඥානවන්තව හිත පුරුදු කරන එක්කෙනා යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරනවා මේ බනින එක්කෙනා මගේ පෙර ජාතියක අම්මා මගේ තාත්තා මගේ අයියා මගේ ලොකු තාත්තා ලොකු අම්මා අද ඉතින් මෙහෙම බැන්නට අනේ මට කොච්චර ආදර කරන්න ඇත්ද ඔය බනින කෙනා මටම අම්මා වෙලා මටම පෙව් කිරි සතර මහා සාගර ජලයට වඩා වැඩි නේද ඔය වැනි කෙනෙක් අද මෙහෙම බනින්නෙ තරම් නපුරු උනේ මගේම විපාක වාරයක්. මම සසරෙදි අම්මට බැනලා තියෙනවා තාත්තට බැනලා තියෙනවා වැඩිහිටියන්ට සිල්වතුන්ට ගුණවතුන්ට මම බැනලා දොඩලා තියෙනවා ඒකේ විපාක මට මේ ආවා නේද මට වගේ මේ බනින කෙනාට මේ වගේ විපාකයක් නොවේවා මේ තැනැත්තා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා කියලා සිත පිරිසිදු කරගන්න එතකොට (යෝනිසෝමනසිකාරය) තවත් දුරට ගැඹුරට හිතනවා දැන් මේ බනින කෙනා බනිනවෙලාවේ ඔහුගේ චිත්ත චෛතසික ධර්ම ඒ ඒ තැනම ඇති වෙලා නැති වෙලා යනවා අනිත්‍යයයි ඒ ඇතිවෙන නැතිවෙන නාමරූප පෙළෙන බැවින් දුකයි කැමති සේ නො පවත්නා නිසා අසාර නිස්සාර නිසා අනත්තයි පිලිකුල් බැවින් අසුබයි. අන්න ගැඹුරට හිතුවා. ඊලඟට මම මේ අහන මගේ මේ දෙසවන මේ අරමුණු ගන්න චිත්තසංථානය මේ නාම රූප , මේ නාම රූප ක්ෂණයක්, පාසාම ඒ ඒ තැනම ඇතුව නැතුව යනවා අනිත්තයි ඇති වීමෙන් නැති වීමෙන් පෙළෙනා දුකයි පිළිකුල් බැවින් අසුබයි
අන්න ගැඹුරටම යෝනිසෝමනසිකාරය හිතුව හැටි හැම වෙලාවෙම තමන්ගේ සිත පිරිසුදුයිනේ. කොච්චර බැන්නත් කොච්චර අලාභයක් වුණත් කොච්චර අපහාසයක් කොච්චර අගෞරවයක් වුණත් තමන්ගේ හිත පිරිසිදු කර ගත්තනේ ඥානවන්ත කම නිසා මේක තමයි යෝනිසෝ මනසිකාරය.


පූජ්‍ය නා උයන අරියධම්ම ස්වාමීන් වහන්සේ

කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම

කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ කුමන හේතුන් නිසාද යන්න පළමුවෙන්ම පැහැදිලි කිරීම වැදගත් වේ. සමාජයේ ජීවත් වෙන සෑම දෙනෙකුටම වාගේ නිතර ඇසුරු කරන, අදහස් හුවමාරු කරගන්නා මිතුරන් එක් කෙනෙකුන් හෝ කිහිප දෙනෙක් සිටී. ඒ අයගේ ඇසුර නිසා කාලය ගත වීමෙන් අපගේ සිතුම් පැතුම්, ක්‍රියා සහ ආවේග හැඩ ගැසීම හොඳ අතට හෝ නරක අතට හෝ වෙනස් වීම අපට නොදැනීම සිදු වේ. එම වෙනස් වීම් යාන්ත්‍රණය හඳුනා ගැනීමත්, කල්‍යාණමිත්‍රයා යනු කවරේද, එම ඇසුර සම්පත්තියක් ලෙස දක්වන්නේ මොන හේතුන් නිසාද යන කරනා බුදු දහමට අනුව මනා ලෙස මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ. මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා වන්නේ ඒ නිසා වෙනි.

”කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙම ලින්ක් එක මත ක්ල්ක් කරන්න: https:https://bit.ly/3fh2erY