“මහා තේජවන්තයා සමන්තො සත්තානං භයං උපද්දවං උපසග්ගං ච තායති රක්ඛතිති පරිත්තං” යනු මහා සද්දනීති විවරණ පාඨ හෙයින් මහා තේජස් ඇති බැවින් සත්ත්වයන් හට පැමිණෙන භය උපද්‍රවාදිය හාත්පසින් ම හැම ලෙසින් ම වළකා ආරක්ෂා කෙරෙනුයි පරිත්ත – පිරිත් නම් වේ.
“විපත්ති පටිබාහාය – සබ්බසම්පත්ති සිද්ධියා
සබ්බදුක්ඛ විනාසාය – පරිත්තං බ්‍රෑථ මංගලං”
විපත්ති වැළැකීම පිණිසත්, සියලු සම්පත් සිද්ධ කරදීම පිණිසත්, සියලු දුක් වැනැසීම පිණිසත් හේතුවන්නා වූ මංගල සම්මත පිරිත දේශනා කරන්නේ මැනැවි. දෙවැනි තුන්වැනි වාරයන්හි “සබ්බ දුක්ඛ විනාසාය” වෙනුවට පිළිවෙළින්, “සබ්බ භය විනාසාය” සියලු භය වැනසීම පිණිසත් “සබ්බ රෝග විනාසාය” සියලු රෝග වැනැසීම පිණිසත් කියා යොදන්නේ නම් මැනැවි.
මෙය පිරිත් දේශනාවට වැඩමකර සිටින මහා සංඝයා වහන්සේට දායක පින්වතුන් විසින් චාරිත්‍රානුකූල ව ආරාධනා කරනු ලබන පිළිවෙළයි. මෙහි පිරිතකින් බලාපොරොත්තු වන ගුණය ද ඇතුළත් වී තිබේ.
සියලු විපත්ති වළක්වා සියලු දුක් – භය – රෝගයන් විනාශ කොට, දීඝායු සම්පත් නීරෝග සම්පත් ආදිය ලබා ගැනීම පිරිත් දේශනා කරවා ගැනීමෙහි පරමාර්ථය හෙවත් ඉහළ ම බලාපොරොත්තුව වේ. පිරිතකින් යට කී බලාපොරොත්තුව සම්පූර්ණ කර ගැනීමට පිටතින් ලැබෙන උපකාරක ධර්ම සහ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්ම වශයෙන් උපකාරක ධර්ම සමූහයකගේ එක්වීමේ බලය ආධාර වේ.
▬▬▬▬
බාහිර උපකාරක ධර්ම
මෙකල සම්මත කරගෙන තිබෙන පරිදි පිරිත් යැයි වෙනම සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ නැත. උන් වහන්සේ දෙසූ සුවාසුදහසක් ධර්මස්කන්ධයන් අතුරෙන් යම් යම් ලෙඩ දුක් ආදී විපත් පැමිණි අවස්ථාවන්හි දී ඒවා දුරුකරනු සඳහා මහා කරුණාවෙන් ප්‍රකාශ කළ සූත්‍රයන් එක් කොට පිරිත් යැයි සම්මත කර තැබීම පූර්වාචාර්යවරුන්ගේ ක්‍රියාවෙකි.
මහා කරුණා සමාපත්තියෙන් නැඟිට ලොව බලා වදාරා සත්ත්වයනට පැමිණි දුක් නැති කරනු සඳහා වදාළ සූත්‍ර ධර්මයන් නිසා මෙහි වචනයක් පාසා උන් වහන්සේගේ මහා කරුණාව කා වැදී තිබේ. ඒ මහා කරුණාවෙහි එදා මෙන් ම අද ද සත්ත්වයන්ගේ දුක් දුරුකොට සම්පත් ළඟාකර දීමේ බලය රඳා පවත්නේ ය.
මේ පිරිත් සූත්‍රයන්හි ඇතුළත් වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයයි. මනුෂ්‍යයන්ගේ දෙලෝ යහපතට හේතුවන ධර්මයන්ගෙන් මෙන් ම කිසි කලෙක වෙනස් නොවන සත්‍යයන් වන චතුරාර්්‍යය සත්‍යය ආදී උසස් ධර්මයන්ගෙන් ද යුක්ත වේ. බුදු රජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් ම දේශනා කළ රත්නත්‍රයේ ගුණ ද ඇතුළත් ය.
අවුරුදු දෙදහස් පන්සීයකටත් වැඩි කාලයක් මුළුල්ලෙහි මේ නිර්මල ධර්මය නිසා ලොවට සැලැසුණු ශාන්තිය අතිවිශාල ය. සියලු දුක් නැති කොට පරම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව නොකිය හැකි තරම් ය. මේ නිර්මල ධර්මයෙහි ඒ බලය අද ද නොඅඩුව පවතී. සියලු දුක් නැවැත නූපදනා ලෙසට ම නැසිය හැකි ය. එසේ නම් සාමාන්‍ය දුක් කරදර විපත් නැසීම ගැන කවර කතා ද? එහෙයින් මේ පිරිතෙහි සත්‍ය වූ ධර්ම බලය ද රඳා පවත්නේ ය.
“අප්පමාණෝ බුද්ධෝ අප්පමාණෝ ධම්මෝ අප්පමාණෝ සංඝෝ” යි වදාළ පරිදි බුද්ධ – ධම්ම – සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්ත ය. අප්‍රමාණ ය. මේ බුදුගුණ ඇසීම් මාත්‍රයෙන් පවා සසර දුක් නැති කළවුන් ගේ සංඛ්‍යාව ද විශාලය. ඇතැම්හු ඍද්ධි විශේෂයක් නැති ව ද මේ බුදුගුණ බලයෙන් අහසින් පවා ගියහ. ඒ බුදුගුණ බලය අද ද නොඅඩු ව පවතී. දහම් ගුණ සහ සඟ ගුණ ද එසේ ම ය. මේ පිරිතෙහි ඒ අති පරිශුද්ධ රත්නත්‍රයෙහි ගුණ බලය ද රඳා පවත්නේ ය.
▬▬▬▬
කරුණා මෛත්‍රී සහගත සිත
භික්ෂූන් වහන්සේලාට පිරිත් දේශනා කරන්නට නියම කර ඇත්තේ ද කරුණා මෛත්‍රී සහගත සිතිනි. පෙර විශාලා මහනුවර දුර්භික්ෂ-රෝග – අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකිවූයේ බුදුරජාණන් වහන්සේ වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මාහිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇද්දැයි වැටැහෙන්නේ එදා එහි පැවති තත්ත්වය මෙනෙහි කරන විට ය.
කවර කලෙක වුව ද පිරිත් දේශනා කරන භික්ෂුන් වහන්සේලාට නියම කර තිබෙන්නේ “වේසාලියා තිසු පාකාරන්තරේසු තියාමරත්තිං පරිත්තං කරොන්තෝ ආයස්මා ආනන්ද ථේරෝ විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා” භ කියූ පරිදි එදා විසාලා මහ නුවර පිරිත් දේශනා කළ අනඳ මාහිමියන් වහන්සේ මෙන් කරුණා මෛත්‍රී සිත් උපදවාගෙන පිරිත් දේශනා කළ යුතු බවයි.
කරුණු මෙසේ හෙයින් මේ පිරිතෙහි සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාගේ කාරණා මෛත්‍රී බලය ද රඳා පවත්නේ ය. කරුණාවෙන් හා මෛත්‍රියෙන් පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලා හැම සූත්‍රයක් පාසා ම “ඒතේන සච්ච චජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා” මේ සත්‍ය වචනයෙන් ඔබට සැමදා ම සෙතක් වේවා” යි සත්‍ය ක්‍රියා කෙරෙති. සත්‍ය ක්‍රියාවෙහි බුදුම බලයක් පවත්නේ ය.
සච්චේන චාචේනුදකං හි ගාධති
විසම්පි සච්චේන භායන්ති පණ්ඩිතා
සච්චේන දෙවෝ ථනයං පවස්සති
සච්චේ ඨීතා නිබ්බුතිං පත්ථයන්ති
සත්‍ය ක්‍රියා බලයෙන් ගැඹුරු දියෙහි ද බැසගනී. මහා කප්පින රජතුමා පැවිදිවන්නට එනවිට හමු වූ මහා ගංගාවන්හි බැස පොළොවෙහි මෙන් ගමන් කොට පැමිණියේ සත්‍ය ක්‍රියා බලයෙනි.
සත්‍ය වචනයෙන් ඝෝර විෂ ද නැසිය හැකි ය. රජු විසින් විෂ පෙවූ ඊයෙන් විදිනු ලැබූ සාම කුමාරයා සිහිසන් නැති ව ඇද වැටුණේ ය. මරණාසන්න ව සිටි කුමරු වෙතට පැමිණි ගුණවත් අඳ මවුපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් විෂ මුළුමනින් ම බැස ගොස් කුමරු ප්‍රකෘති සිහිය ලැබුවේ ය.
සත්‍ය වචනයෙන් වැසි වැස්සවිය හැකි ද වේ. සිරිසඟබෝ ආදී ගුණවත් රජවරු සත්‍ය ක්‍රියා බලයෙන් වැසි වැස්සූ සැටි ඉතිහාසය දන්නවුනට මතක ඇත.
සත්‍යයෙහි පිහිටියානු නිර්වාණය ප්‍රාර්ථනා කෙරෙති. පුහුදුන් කම නිසා යම් යම් සුළු දෝෂ ඇතත් දැන දැන බොරු නොකීම නියත විවරණ ලැබූ බෝධිසත්ත්වවරුන්ගේ ධර්මතාවෙකි. සත්‍යයෙහි පිහිටා කරන ප්‍රාර්ථනාවෙන් සියලු සසර දුක් ගෙවා පරම සුවය වන නිවන පවා ලැබිය හැකි නම් සාමාන්‍ය ලෙඩ දුක් නැතිකොට සුවපත් වීම එතරම් අසීරු දෙයක් ද?
සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා ද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත ව මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය ප්‍රකාශ කොට මේ සත්‍යයේ බලයෙන් සෙතක් ශාන්තියක් සැලසේවා! ලෙඩදුක් දුරුවේවා! දිගාසිරි නීරෝග සම්පත් ලැබේවා! කියා සත්‍ය ක්‍රියා කරන විට නොසැලැසෙන යහපතක් නැතැයි කිව යුතු ය. මෙසේ පිරිතෙහි සත්‍ය ක්‍රියා බලය ද නොඅඩු ව ම රඳා පවත්නේ ය.
▬▬▬▬
දෙවිවරු
ගෙවල් හා මහා වෘක්ෂ ආශ්‍රය කරගෙන සාමාන්‍ය දෙවිවරුන් වාසය කරන බව බුද්ධ ධර්මයෙහි සඳහන් වේ.
පිරිත් දේශනාව පටන්ගන්නට පෙර දෙවියන්ට ද පිරිත් අසන්නට පැමිණෙන්නට යයි ආරාධනා කිරීම සිරිත ය.
සම්‍යග්දෘෂ්ටික දෙවිවරු පිරිත් අසන්නට ඉතා කැමති ය. එහෙයින් තමන්ගේ හිත මිත්‍ර මහේශාක්‍ය දෙවියනට ද දන්වා ඔවුනුදු කැඳවාගෙන පිරිත් අසන්නට පැමිණීම බූමාටු දෙවියන්ගේ සිරිතෙකි. ඔවුන්ගේ පැමිණීම නිසා අල්පේශාක්‍ය ප්‍රේතාදීහු වෙතොත් එතැනින් බැහැර වී යති. එහෙයින් ප්‍රේතාදී අමනුෂ්‍යයන් නිසා ඇතිවිය හැකි කරදර තිබුණා නම් එය නැති වී යයි. එසේ ම පිරිත් ඇසීමෙන් සතුටට පැමිණෙන දෙවියෝ ද තමහට පිරිත් ඇසීමට උපකාර වූ පින්වතුනට විපත් දුරු කිරීම් සම්පත් ළඟාකර දීම් ආදී සුළු සුළු උපකාර නොකරන්නාහු නො වෙති.
මෙසේ පිරිතෙන් ගුණ ලබාදීමට පිටතින් ලැබෙන උපකාරක ධර්ම සමූහයක් එක්වෙයි. මෙකී කරුණු ටිකෙන් වුව ද විපත් දුරුකොට සම්පත් ළඟාකර දීම කළ හැකි බව නුවණින් කල්පනා කරන කාහට වුව ද වැටැහේ ම ය.
පිරිතේ හාස්කම් හා කර්ම වේගය
▬▬▬▬
සද්ධාව හා ප්‍රඥාවද යෝනිසෝමනසිකාරය හා උපට්ඨීත සතිය ද යන මේ ධර්මයන් නිසා තමන්ගේ සන්තානයෙහි පහළ වන කුශල චිත්තයෝ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්මයෝ නම් වෙති.
චිත්ත වේගය අතිශීඝ්‍ර ය. ප්‍රමාණය දැක්වීමට උපමාවක් ද නැත්තේ ය. සාමාන්‍ය ඇසට පෙනෙන දෙයින් ඉතා වේගයෙන් ක්‍රියා කැරෙන්නේ විදුලි කෙටීම ය. චිත්ත වේගය ඊට වඩා කොතරම් බලවත් දැයි කිවහොත් විදුලියක් කෙටෙන ක්ෂණයෙක දී සිත් සිය ගණනක් ඇතිවිය හැකි ය. ඒ සිත් නිකම් උපදිනවා නො ව ලැබුණු අරමුණු අනුව වීථී ප්‍රතිපන්න ව වේගයෙන් දුවත්. එය එසේ නම් පැයක දී දවසක දී ජීවිත කාලයක දී කොපමණ සිත් පහළ විය හැකි ද?
මෙසේ පහළ වන්නා වූ හැම චිත්ත වීථියක ම කුසල් හෝ අකුසල් හෝ ජවන් නමින් සිත් සතක් උපදී. කුශලාකුශල කර්ම යයි කියන්නේ මේ සිත් හතට ය. මේ ජවන් සිත්වලට පෙර උපදින්නේ වොත්ථපන හෙවත් මනොද්වාරාවජ්ජන නමින් ක්‍රියා සිතෙකි. ඒ අවස්ථාවෙහි යෝනිසෝමනසිකාරයත් එළඹ සිටි සිහියත් තිබුණා නම් නිසි මඟට හැරවීම නිසා කුසල් ජවන් පහළ වෙයි. අයෝනිසෝමනසිකාරයත් මුට්ඨස්සතියත් තිබුණා නම් අකුසල් ජවන් සිත් පහළ වෙයි. මේ හත අතුරෙන් පළමු ජවන සිත ආසේවන ප්‍රත්‍යයක් නැති හෙයින් ඉතා දුර්වල ය. විපාක දෙතොත් දිට්ඨධම්මවේදනීය විපාක වශයෙන් මේ ජාතියෙහි ම පමණක් විපාක දෙයි. හත්වැනි ජවන් සිත මුල් හයෙන් ලැබුණු ආසේවන ප්‍රත්‍යය නිසා ඉතා ප්‍රබල ය. උප පජ්ජවේදනීය විපාක වශයෙන් ලබන ජාතියෙහි ම විපාක දීමට ශක්තිය ඇත්තේ ය. මේ ජවන් සිත් දෙකේ විපාක මේ ජාතියෙහි හා මීළඟ ජාතියෙහි විපාක දිය නොහැකි වූවොත් අහෝසි වෙයි. ඉදිරියෙහි විපාක දිය නොහැකි වෙයි.
මෙකී දෙ සිත හැරුණු විට ඉතිරි ජවන් සිත් පහේ ම අපරාපරිය වේදනීය විපාක වශයෙන් නිවන් අවබෝධ කොට පිරිනිවන් පානා තුරු විපාක දීමට ශක්තිය ඇත්තේ ය. එක ජීවිතයක දී රැස් කරන මෙබඳු කර්මයන්ගේ සංඛ්‍යාව නොකිය හැකි තරම් වේ. එය එසේ නම් මේ සංසාරයෙහි අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සැරි සරනා අය කොපමණ කර්ම රැස්කර ඇද්ද? එහෙයින් සෑම රජකු තුළ ම මහ සිඟන්නකු වීමේ කර්ම ශක්තිය මෙන් ම, සෑම හිඟන්නෙකු තුළ මහරජකු වීමේ කර්ම ශක්තියක් ද ඇත්තේ ය. එසේ ම මන්දායුෂ්ක වීමේ හා රෝග බහුල වීමේ ද කර්ම මෙන් ම දීර්ඝායුෂ්ක වීමේ හා සුවපත් වීමේ කර්ම ද නො කිය හැකි තරම් රැසක් ඇත.
නිල මැස්සා අසූචියට හා මී මැස්සා සුවඳට ඇදී යන්නාක් මෙන් මේ ජාතියෙහි අකුශල කර්ම කරන්නා වෙතට පෙර ජාතිවල කරන ලද අපරාපරිය වේදනීය අකුසල කර්ම හා කුශල කර්ම කරන්නා වෙතට අපරාපරිය වේදනීය කුසල කර්ම ද විපාක දීමට ඇදී එයි.
ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත සිත් ය. ඒ සමඟ ඒ තැනැත්තා තුළ බලපවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්ඝායු සම්පත් හා නිරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරොත්තුවයි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළ වෙනවා ඇද්ද? සතළොස් චිත්තක්ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් නොකිය හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථී දසදහසක් යැයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නොහැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නොරහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ.
සසර සැරිසරන කාලවල දී රැස්කරන ලද විපත්ති දුරුකොට සම්පත් ලබාදීමට ශක්තිය ඇති කුසල කර්මයන්ගේ ප්‍රමාණය සීමාතික්‍රාන්ත ය. එහෙයින් මේ අවස්ථාවේ තමන්ගේ සිතෙහි බල පවත්වන ලෙඩදුක් ආදිය දුරුකොට ආයුරාරෝග්‍යාදී සම්පත් ලබාගැනීමේ බලාපොරොත්තුව අනුව සසර දී කරන ලද එබඳු විපාක ශක්තියක් ඇති කර්ම ඉදිරියට පැමිණීමෙන් දුක් දුරු වී සම්පත් සැලැසෙයි.
පිරිතෙහි කොතරම් බලයක් ඇතත් අසන්නා තුළ කිසි විශ්වාසයක් නැත්නම් නියම ගුණය නො ලැබෙයි. එසේ ම විශ්වාසය ඇතත් පිරිත් දේශනා කරන විට කෙලෙස් වසඟ ව හෝ නොසැලැකිල්ලේ හෝ අසා සිටීමෙන් ද නියම ගුණය නො ලැබෙයි. විශ්වාසය ඇතත් ශ්‍රද්ධාවෙන් අසා සිටියත් විපාක දීමට බලවත් අකුශල කර්මයක් ඉදිරිපත් වූවොත් පිරිතෙහි නියම ගුණය නො ලැබිය හැකි වෙයි.
▬▬▬▬
පිරිත ඇසීමට කැමති තිබෙන්නේ කුමක් නිසා ද?
මේ ලෝකවාසීන් අතර කැමති යැයි මිහිරි යැයි සම්මත වූ ශබ්දයෝ බොහෝ වෙති. කෙනෙකුට කැමති වූ ශබ්දය කෙනෙකුට කැමති නො වේ. තවත් කෙනෙකුට කැමති වේ. අන් කෙනෙකුට අකැමති. එහෙත් පිරිත් ශබ්දය හැම දෙනාට ම එක හා සමාන ව ම කැමති යැයි කිව හැකි ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක සූත්‍රයක් මාතෘකා කොට සත් දවසක් ධර්ම දේශනා කරනුවා යැයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනයෙහි අතිවිශාල ජනකායක් පැමිණෙනවා ඇත. දෙවන දිනයෙහි පිරිස අඩුවෙයි. තෙවැනි දිනයෙහි ඊටත් අඩුවෙයි. හත්වැනි දිනය වන විට දායක මහතාත් දේශකයන් වහන්සේත් පමණක් විය හැකි ය. දේශකයන් වහන්සේ ඉතා විචිත්‍ර ලෙස දේශනාව කරති. ඉතා මැනැවින් කරුණු පැහැදිලි කර දෙති. එහෙත් දින හතේම එක ම ධර්මය නම් මහජනයාගේ කැමති භාවය දිනෙන් දින ම අඩුවීම නොවැළැක්විය හැක්කකි.
හත් දවසක පිරිත් දේශනාවක් යයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනයෙහි ද විශාල පිරිසක් පැමිණෙනුවා ඇත. දෙවැනි දිනයෙහි පිරිස වැඩිවෙයි. හත්වැනි දිනය වන විට පසු වී ආ කෙනෙකුට සමීප විය නොහැකි තරම් අතිවිශාල ජනකායක් පැමිණෙනුවා ම ය. දේශකයන් වහන්සේලා එක පදයක්වත් තෝරා දුන්නේ නැත. අසා සිටියවුන් හට තේරෙන්නේවත් නැත. එහෙත් අසා සිටිනවුන්ගේ සතුට නම් නො කිය හැකි තරම් වේ.
පිරිත මනුෂ්‍යයන්ට පමණක් නො ව තිරිසනුන්හට ද ඉතා සතුටු බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. මෙතරම් සතුටුවීමට ප්‍රධාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි. ධර්ම දේශනා කරන විට ද ප්‍රකාශ කරන්නේ බුද්ධ භාෂිතයන් වුව ද එය දේශකයන්ගේ වචන වලිනි. පිරිත් දේශනා කරන විට එය දේශනා කරන්නෝ ඉස්පිල්ලක් පාපිල්ලක් වත් නොවෙනස් ව බුද්ධ වචනය ම කියති.
අකුරු නිසි ලෙස යෙදීමෙන් ඇතිවන වචන ශක්තිය ද ඉතා බලවත් ය. හෝඩියේ අකුරු එක් ආකාරයකින් යොදා කී විට අසන්නවුන්ගේ ඇස් රතුවන තරම් දරුණු විය හැකි ය. අකමැති විය හැකි ය. තවත් ආකාරයකින් කී විට අසන්නවුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු වගුරුවන්නට පිළිවන. මෙකල අතැමුන් විශ්වාස නොකරතත් සෙත්කවි, වස්කවි ආදියෙහි තිබෙන්නේ ද අකුරු පිහිටුවීමේ බලය හා ගණ පිහිටුවීමේ බලයයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේ හිත සතුටු කිරීමට දෙවියන් ඉදිරියෙහි ඒවා කීම සිරිතක් වුවත් නියම ලෙස තැනූ සෙත් කවියෙහි වස්කවියෙහි බලය එය තනනුවාත් සමඟ ම ප්‍රකට වෙයි.
— මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි